අමාත්‍යවරුන්ගේ ඉන්ධන කෝටාව ගැන ගත් තීන්දුව

PranaNews.lk

අමාත්‍යවරුන් සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් සිය ඉන්ධන කොටවා තුනෙන් එකකට වැඩි ප්‍රමාණයකින් ස්වේච්ඡාවෙන්ම අඩු කරගෙන තිබෙනවා.

රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා පවසන්නේ බලශක්ති අර්බුදය හේතුවෙන් රටට ජනතාවට පුර්වාදර්ශයක් සැපයීම සඳහා සියලු අමාත්‍යවරුන් පොදු එකඟතාවකට පැමිණ මෙම තීන්දුව ගත් බවයි.

මෙම තීන්දුවට සමගාමීව අමාත්‍යාංශ ලේකම්වරුන් ඇතුළු උසස් නිලධාරීන් ද සිය ඉන්ධන කෝටාව සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරගෙන ඇති බව සඳහන්.

ගෝලීය බලශක්ති අර්බුද සහ පවතින වියලි කාලගුණය හමුවේ ජලය සහ විදුලිය සුරැකීම සඳහා රාජ්‍ය ආයතන පළාත් පාලන ආයතන මෙන්ම රටේ සමස්ථ පුරවැසියන් ද වගකීමෙන් යුතුව දායක විය යුතු බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසනවා.

"රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන සියල්ලම විශේෂම වැඩසටහන් සකස් කරගැනීමේ අවශ්‍යතාවයක් තියෙනවා බලශක්තිය හා ජලය අරපිරිමැස්මෙන් භාවිත කිරීම සඳහා. ආයතනවල අනවශ්‍ය විදුලි පහන් නිවා දැමීම, විදුලි සෝපාන භාවිතය හැකිතාක් අවම කිරීම, අධික වියදමක් වැයවෙන වෙළෙඳ ප්‍රචාරක පුවරු සීමා කිරීම සහ රාත්‍රී 9න් පස්සේ, ඔෆ් කරලා තබාගැනීම අවශ්‍ය වෙනවා. මේ රටේ රාජ්‍ය ආයතන, පළාත් පාලන ආයතන වගේම සමස්ත පුරවැසියන්ටත් අපි ආරාධනා කරනවා මේ මෙහෙයුමට දායකවීමට ඔබටත් යම් වගකීමක් තියෙනවා."