ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ප්‍රතිපත්ති පොලී අනුපාතය වෙනසක් නැහැ

PranaNews.lk

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (29) පැවැති රැස්වීමේදී එක්දින ප්‍රතිපත්ති පොලී අනුපාතය හෙවත් OPR, දැනට පවතින 8.75% මට්ටමේම වෙනස් නොකර පවත්වා ගැනීමට තීරණය කර තිබෙනවා.

දේශීය හා ගෝලීය ආර්ථික තත්ත්වයන් මෙන්ම ඉදිරි ආර්ථික දැක්ම ද දැඩි ලෙස සැලකිල්ලට ගනිමින් මහ බැංකුව විසින් මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

පසුගිය 2026 මැයි මාසයේදී ක්‍රියාත්මක කළ දැඩි මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල බලපෑම, මැදපෙරදිග වර්ධනය වන භූ දේශපාලනික ආතතීන් මෙන්ම එල්නිනෝ කාලගුණ තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි අවදානම් පිළිබඳව ද මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ අවධානය යොමු වී තිබෙනවා.

කෙසේ වෙතත් 2026 වසරේ පළමු අර්ධයේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.7%ක සැබෑ වර්ධනයක් වාර්තා කරමින් අඛණ්ඩ ඔරොත්තු දීමේ හැකියාවක් පෙන්නුම් කර ඇති බවයි මහ බැංකුව පෙන්වා දෙන්නේ.

මේ අතර 2026 අගෝස්තු මාසයේදී මෙරට ප්‍රධාන උද්ධමනය වාර්ෂික පදනම මත 8% දක්වා ඉහළ ගොස් ඇති අතර, බලශක්ති මිල ඉහළ යාමේ බලපෑම ආර්ථිකයේ විවිධ අංශ වෙත සම්ප්‍රේෂණය වීම ඊට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙනවා.

මෙම උද්ධමනය 2027 වසරේ පළමු කාර්තුව දක්වා ඉහළ තනි ඉලක්කම් මට්ටමක පැවතීමෙන් අනතුරුව, 5%ක අපේක්ෂිත ඉලක්කය වෙත ක්‍රමයෙන් පහළ යනු ඇති බවටයි මහ බැංකුව පුරෝකථනය කරන්නේ.

එමෙන්ම මහ බැංකුව විසින් සිදුකළ ශුද්ධ විදේශ විනිමය මිලදී ගැනීම් ද දායක කරගනිමින්, 2026 අගෝස්තු අග වන විට මෙරට දළ නිල විදේශ සංචිත ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් බිලියන 6.9ක් දක්වා සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බව ද මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කළා.