2027 වසර සඳහා වන රජයේ අයවැය කතාව එළඹෙන නොවැම්බර් මස 12 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට සියලු කටයුතු සූදානම් කර තිබෙනවා.
පාර්ලිමේන්තු මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය සඳහන් කළේ, ඊට අදාළ 2027 විසර්ජන පනත් කෙටුම්පත පළමුවර කියවීම ඔක්තෝබර් මස 07 වනදා සිදුකිරීමට නියමිත බවයි.
කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 25 වනදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී මෙම කාලසටහන සඳහා පූර්ණ අනුමැතිය හිමිවී තිබෙනවා.
ඒ අනුව මුදල් විෂය භාර අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 12 වනදා විසර්ජන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම හෙවත් විශේෂ අයවැය කථාව පාර්ලිමේන්තුව හමුවේ පවත්වනු ලබනවා.
අනතුරුව නොවැම්බර් 13 වනදා සිට 20 වනදා දක්වා දින හතක් පුරාවට අයවැය දෙවැනිවර කියවීමේ විවාදය පැවැත්වෙන අතර, ඊට අදාළ දෙවැනිවර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් 20 වනදා පස්වරු 6.00ට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.
එමෙන්ම කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා දින 19ක් පුරා පැවැත්වෙන අතර, 2027 අයවැය තෙවැනිවර කියවීමේ අවසාන ඡන්ද විමසීම දෙසැම්බර් 14 වනදා පස්වරු 6.00ට පැවැත්වීමට තීරණය කර තිබෙනවා.
අයවැය විවාදය පැවැත්වෙන මෙම සමස්ත කාලසීමාව තුළ රජයේ නිවාඩු දින සහ ඉරිදා දින හැර සෙනසුරාදා දිනවලද අඛණ්ඩව පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.
කාලය වෙන් කිරීමේදී දෙවැනිවර කියවීමේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට 60%ක් සහ විපක්ෂයට 40%ක් ලෙසත්, කාරක සභා අවස්ථාවේ විවාදයේදී ආණ්ඩු පක්ෂයට 40%ක් සහ විපක්ෂයට 60%ක් ලෙසත් කාලය බෙදා වෙන් කිරීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.