QR කේතයට අදාළ ගැටළු නිරාකරණය කරමින් පවතිනවා - කැබිනට් මාධ්‍ය ප්‍රකාශක

PranaNews.lk

ඉන්ධන ලබා ගැනීමේ භාවිතා කරන QR කේතයට අදාළ බොහෝ ගැටළු මේ වන විට නිරාකරණය වෙමින් පවතින බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ පෙර සිට QR කේතයක් තිබූ වාහනයක් හා එම අංකය නොවෙනස්ව පවතින අවස්ථාවල කිසිඳු ගැටළුවක් නොමැති එම කේතය භාවිත කළ හැකි බවයි.

තවද වාහනය එකම වුවත් අංකය අලුත් කර ඇති අවස්ථාවල නව QR කේතයක් ලබා ගැනීම සඳහා යම් කාලයක් ලබාදීමට සිදුවූ බවද ඔහු සඳහන් කරනවා.

අමාත්‍යවරයා පවසන්නේ නව වාහන මිලදී ගත් අය සම්බන්ධයෙන් පැවැති ගැටළු මේ වන විට සම්පුර්ණයෙන්ම නිරාකරණය කර ඇති බවත් එම ක්‍රියාවලිය සාර්ථකව අවසන් කර ඇති බවත්ය.

"දැන් ඉතිරිව තියෙන ප්‍රධාන ගැටළුව වාහනයේ අයිතිකරු වෙනස්වීම සම්බන්ධයෙන්. ඒ වගේ අවස්ථාවලදී පෙර අයිතිකරුගේ QR කේතය ඉවත් නොකිරීම හේතුවෙන් ගැටලු ඇතිව තිබෙනවා. එම ගැටලුවද මේ වනවිට නිරාකරණය කරමින් පවතිනවා."

මේ අතර ඉන්ධන බෙදා හැරීම සඳහා පනවා ඇති QR කේතයේ ගැටළු බොහෝ ප්‍රමාණයක් මේ වන විට නිරාකරණය කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාරකරණ අධ්‍යක්ෂ මයුර නෙත්තිකුමාගේ මහතා පවසනවා.

ඔහු පවසන්නේ මේ වන විට පුද්ගලයින් 10000කට ආසන්න ප්‍රමාණයක් හැර අනෙක් සෑම පුද්ගලයෙකුම තමන්ට අදාළ QR කේතය මේ වන විට ලබාගෙන අවසන් බවයි.

මේ අනුව ලක්ෂ 4කට අධික ප්‍රමාණයක් QR කේතය ලබාගෙන ඇති බවද ඒ මහතා සඳහන් කරනවා.

"ඉතාම සුළු පිරිසක් ඉන්නවා අදත් කීපදෙනෙක් අපෙන් ඇහුවා එයාලට රෙජිස්ටර් වෙන්න බෑ කියලා. අපි කතා කළාම අපිට තේරිච්ච දේ තමයි ඊයේ තමයි ඔවුන් ඒක බලලා තියෙන්නේ අද දවසේ බලලා නෑ. ඉතිං අපි කියනවා අද දවසෙත් නැවත බලන්න සාමාන්‍යයෙන් පැයකට 30,000ක් තමයි අලුතින් රෙජිස්ටේෂන් එකට ඇතුල් වෙමින් තියෙන්නේ. අනිත් අයට එතකොට Error එකක් එනවා. නමුත් 30,000ක් සෑම පැයකම රෙජිස්ටර් වෙමින් තිබෙනවා. මොකද අපි දැන් සෑහෙන්න මේ ප්‍රශ්න විසඳලා තියෙන්නේ.

නව QR එකක් එන්නේ නෑ. අපි දත්ත මිලියන 2ක් විතර මැකුවා. දැන් ඉතාම සුළු පිරිසක් තමයි ඉන්ඇක්ටිව් කියලා පෙන්වන්නේ... ඉතිං ඒ සුළු පිරිස නැවත රෙජිස්ටර් වෙන්න බලන්න QR කෝටාව ඉවර වෙන්නේ මේ සතිය අවසානයේ ඉතිං QR එක හදාගෙන තමන්ට හිමි තෙල් ප්‍රමාණය ලබා ගන්න."