22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

PranaNews.lk

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතේ දෙවන වර කියවීම විශේෂ බහුතර ඡන්දයෙන් අද (25) පාර්ලිමේන්තුවේදී සම්මත වුණා.

ඡන්ද විමසීමේදී ඊට පක්ෂව ඡන්ද 158ක් හිමිවූ අතර, විපක්ෂව හිමිවූයේ ඡන්ද 63ක් පමණයි.

විපක්ෂය ඇතුළු සිවිල් සමාජ නියෝජිතයන්ගේ දැඩි විරෝධතා මධ්‍යයේ අදාළ පනත් කෙටුම්පත මෙලෙස සම්මත කර ගැනීමට සිදුවූ බවයි වාර්තා වන්නේ.

මෙම පනත් කෙටුම්පතේ ඇතුළත් කරුණු අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සම් රැසක් ගොනු කර තිබූ අතර, ඊට සහාය පළකරමින් ද අතරමැදි පෙත්සම් කිහිපයක් ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීරණය පසුගිය 22 වන අඟහරුවාදා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරනු ලැබුවා.

22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සම්මත කිරීම සඳහා ජනමත විචාරණයක් පැවැත්වීම අවශ්‍ය නොවන බවත්, පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් එය සම්මත කළ හැකි බවත් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් පෙන්වා දී තිබුණා.

ඒ අනුව ඊයේ (24) සහ අද (25) දෙදින පුරා පැවැති දීර්ඝ පාර්ලිමේන්තු විවාදයකින් අනතුරුව අද රාත්‍රී 07.15ට පමණ ඊට අදාළ ඡන්ද විමසීම පවත්වා පනත් කෙටුම්පත සම්මත කර ගැනීමට කටයුතු කළ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.