බද්දේගම ත්‍රිරෝද රථයකට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් දෙදෙනෙකු මරුට

PranaNews.lk

මෝටර් රථයකින් පැමිණි පිරිසක් බද්දේගම, හල්පතොට ප්‍රදේශයේදී ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පිරිසකට අද (27) උදෑසන සිදුකළ ටී-56 ගිනි අවි ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පොලීසිය සමත්ව තිබෙනවා.

මෙම දරුණු වෙඩි ප්‍රහාරයෙන් ත්‍රීරෝද රථය පදවාගෙන ගිය පිරිමි පුද්ගලයා සිද්ධිය වූ ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව ඇති අතර, එහි ගමන් කළ කාන්තාවන් දෙදෙනා අතුරින් එක් අයෙකු බද්දේගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගිය කාන්තාව අම්බලන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර, ඇය ගාල්ල අපරාධ කොට්ඨාසය වෙත ගොස් අත්සන් තබා යළි පැමිණෙමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව තිබෙනවා.

ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලැබූ අනෙක් කාන්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා ගාල්ල ජාතික රෝහල වෙත ඇතුළත් කර ඇති අතර, ඇය මේ වනවිට දැඩි සත්කාර ඒකකයේ දැඩි බරපතළ තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි රෝහල් ප්‍රකාශකයෙකු සඳහන් කළේ.

ඔවුන් ගමන් ගත් ත්‍රීරෝද රථය මග හරස්කර මෝටර් රථයකින් පැමිණි සන්නද්ධ පිරිසක් විසින් මෙම ටී-56 වෙඩිතැබීම සිදුකර පලාගොස් ඇති බවටයි මූලික විමර්ශනවලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ.