හෙට රජයේ නිවාඩුවක් කළ හේතුව ඇමති නලින්දගෙන් පැහැදිළි කිරීමක්

PranaNews.lk

පවතින ඉන්ධන අර්බුදය කළමනාකරණය කරන තුරු හෙට (18) සිට සෑම බදාදා දිනයකම පොදු ප්‍රවාහන සේවා සීමා සහිතව පවත්වාගෙන යාමට රජය තීරණය කර තිබෙනවා.

කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (17) එක්වෙමින් මේ සම්බන්ධව අදහස් දැක්වුවා.

එහිදී පවතින ඉන්ධන අර්බුදය මධ්‍යයේ සතියේ බදාදා දින රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධව අමාත්‍යවරයා මෙහිදී පැහැදිළි කිරීමක් සිදු කළා.

ඔහු මාධ්‍යවේදීන් හමුවේ පැවසුවේ නිවාඩු දිනය තෝරා ගැනීමේදී විකල්ප කිහිපයක් සලකා බැලූ බවයි.

සිකුරාදා සිට ඉරිදා දක්වා දින තුනක් නිවාඩු ලබාදීමෙන් රජයේ කාර්යාල කටයුතු සහ ආර්ථික ක්‍රියාකාරකම්වලට බාධා ඇති වීමේ අවධානම සලකා එම විකල්පය ප්‍රතික්ෂේප කළ බවද අමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඒ වෙනුවට බදාදා දින නිවාඩු ලෙස නම් කිරීමෙන් සඳුදා හා අඟහරුවාදා දිනවලත් බ්‍රහස්පතින්දා හා සිකුරාදා දිනවලත් රජයේ කාර්යාල ක්‍රියාත්මක වීමට හැකි වන බවත් මහජන සේවාවන් සම්පුර්ණයෙන්ම අත්හිටුවීමකින් තොරව පවත්වාගෙන යා හැකි බවත්ය.

මැදපෙරදිග කලාපයේ පවතින යුද ගැටුම් හේතුවෙන් ඉන්ධන සැපයුමට ඇතිව තිබෙන ගැටළුවට තාවකාලික විසඳුමක් ලෙස මෙම තීරණය ගත් බවද අමාත්‍යවරයා පවසනවා.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියේ රජයේ කාර්යාල විවෘතව පවතින දින ගණන සීමා කිරීම මගින් පවතින ඉන්ධන තොග අරපිරිමැස්මෙන් භාවිත කිරීම සහ ඉදිරියේ ඇති අවිනිශ්චිතතාවයට සූදානම් වීම මෙහි අරමුණ බවයි.