ආසියානු වෙළෙඳපොළේ තෙල් මිල ඉහළට

PranaNews.lk

ආසියානු වෙළෙඳපොලේ අද (17) උදෑසන වන විට බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් මිල 2.8%කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව තෙල් බැරලයක් මිල ඩොලර් 103.08ක් ලෙසිනි.

තවද අමෙරිකානු බොරතෙල් මිලද 3%කින් පමණ ඉහළ ගොස් ඩොලර් 96.25ක් ලෙස සටහන්ව තිබුණා.

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නෞකා කිහිපයක් ආරක්ෂිතව ගමන් කර ඇති බවට පුවත් වාර්තා වීම සමඟ ඊයේ (16) දිනයේ තෙල් මිල සුළු වශයෙන් පහත වැටී තිබුණා.


ඉරාකයේ අමෙරිකානු තානාපති කාර්යාලයට ඩ්‍රෝන ප්‍රහාරයක්

බැග්ඩෑඩ්හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන සහ රොකට් ප්‍රහාර මාලාවක් එල්ල වී තිබෙනවා.

මෙය ප්‍රහාර ආරම්භ වූ දා සිට එල්ල වූ දරුණුතම ප්‍රහාරය වන බවද ඉරාක ආරක්ෂක අංශ පවසනවා.

මෙම ප්‍රහාරයට පැය 6කට පමණ පෙර ඉරාකයේ සිටින අමෙරිකානු පුරවැසියන් සඳහා තානාපති කාර්යාලය විසින් ආරක්ෂක අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණා.


UAE ගුවන් කලාපය තාවකාලිකව වසා දමයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය සිය ගුවන් කලාපය තාවකාලිකව වසා දමා තිබෙනවා.

ඉරානය විසින් එල්ල කරන ලද නව මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ ගුවන් ගමන් කාර්ය මණ්ඩලය සහ ජාතික භූමිය ආරක්ෂා කිරීමේ පූර්ව ආරක්‍ෂිත පියවරක් ලෙස මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

මේ අතර ඊයේ (16) දින සිට සියලුම මඟීන්ගේ සහ කාර්ය මණ්ඩලය ආරක්ෂාව සහතික කිරීමේ පූර්ව ආරක්ෂක පියවරක් ලෙස ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ ගුවන් ගමන් තාවකාලිකව අත්හිටවනු ලැබුවා.

ගුවන්තොටුපොළ ආසන්නයට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරය සමඟ ගින්නක් හට ගැනුණු අතර මේ හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වනවා.