සෑම බදාදා දිනකම සියලු පාසල්වලට නිවාඩු

PranaNews.lk

 

පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටළුව සැලකිල්ලට ගෙන රජයේ සියලු පාසල් සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නාලක කළුවැව මහතා පවසනවා.

ඊයේ (16) දිනයේ දී රජය විසින් රාජ්‍ය සේවකයින්ට සෑම බදාදා දිනකම නිවාඩු ලබාදීම හේතුවෙන් මෙම තීරණය ගත් බවද ඔහු සඳහන් කරනවා.

මේ අතර මතුව ඇති අභියෝග හමුවේ බලශක්ති කළමනාකරණය කර ගනිමින් රටේ ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාමේ සැලසුම් ක්‍රියාත්මක කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ රට තුළ බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම මෙන්ම ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු කඩිනම් පියවර සොයා බැලීම සඳහා ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (16) පැවැති සාකච්ඡාවකට එක්වෙමින්.

අමාත්‍යවරු සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගීත්වයෙන් පැවැති මෙම සාකච්ඡාවේදී උද්ගතව ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධව මෙහිදී විශේෂ අවධානයක් යොමු වුණා.