කොළඹ වරායේ බහාලුමක අතිවිශාල මත්ද්‍රව්‍ය තොගයක් තිබෙන බවට ලැබුණු පූර්ව තොරතුර සම්බන්ධයෙන් පියවර ගැනීමේදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු අදාළ නිලධාරීන් බරපතළ ලෙස රාජකාරිය පැහැර හැර ඇති බවට අනාවරණය වී තිබෙනවා.
පොලිස් විශේෂ විමර්ශන ඒකකය මගින් සිදුකළ අභ්‍යන්තර පරීක්ෂණයකින් පසුව මෙම තොරතුරු තහවුරු වී ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිල වශයෙන් නිවේදනය කළේ.
පසුගිය අගෝස්තු මස 31 වන දින කොළඹ වරායේ බහාලුමක තිබී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමේ සිද්ධියට අදාළව, පොලිස්පතිවරයාගේ පූර්ණ නියෝග පරිදි පොලිස් විශේෂ විමර්ශන ඒකකය මඟින් මෙම පරීක්ෂණය ආරම්භ කර තිබුණා.
එහිදී අනාවරණය වී ඇත්තේ, අතිවිශාල මත්ද්‍රව්‍ය තොගයක් අඩංගු බහාලුම් දෙකක් ශ්‍රී ලංකාවට ආනයනය කර කොළඹ වරාය පරිශ්‍රයේ ඇති බවට ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා වෙත ඉකුත් අගෝස්තු මස 14 වන දිනම තොරතුරක් ලැබී තිබූ බවයි.
එම තොරතුර එදිනම ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත දන්වා තිබුණද, ඔවුන් ඒ පිළිබඳව නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව සඳහන්.
කෙසේ වෙතත්, අගෝස්තු මස 22 වන දින මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒකනායක මහතා වෙත ද අදාළ තොරතුර ලැබී ඇති අතර, ඔහු ඒ පිළිබඳව වහාම ක්‍රියාත්මක වී අගෝස්තු 31 වන දින කොළඹ වරායට ගොස් රේගු නිලධාරීන් ද සමඟ බහාලුම විවෘත කරමින් මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එම අවස්ථාවේදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් ද එම ස්ථානයට පැමිණ ඇති නමුත්, මත්ද්‍රව්‍ය තොගය සොයාගැනීමේ ප්‍රධාන මෙහෙයුම සිදුකර ඇත්තේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසිනුයි.
ඒ අනුව මෙම තොරතුර සම්බන්ධයෙන් පියවර ගැනීමේදී ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු නිලධාරීන් දැඩි ලෙස රාජකාරිය පැහැර හැර ඇති අතර, නොසැලකිලිමත් ලෙස ක්‍රියා කර ඇති බවට පොලිස් විශේෂ විමර්ශන ඒකකය නිගමනය කර තිබෙනවා.
මෙම සිදුවීම සම්බන්ධයෙන් අභ්‍යන්තර විමර්ශනයට අමතරව පූර්ණ අපරාධ විමර්ශනයක් සිදුකිරීම සුදුසු බවට පොලිස් විශේෂ විමර්ශන ඒකකය වාර්තා කර ඇති බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ.
විශේෂයෙන්ම, රන්මල් කොඩිතුවක්කු මහතා ඇතුළු නිලධාරීන් දැක්වූ මෙම නොසැලකිල්ල සහ රාජකාරි පැහැර හැරීම යම් ජාවාරම්කාර පාර්ශ්වයකට වාසි සහගත තත්ත්වයක් ඇති කිරීම සඳහා සිදුකළ එකක් ද යන්න පිළිබඳව සොයා බැලීමට පොලිස්පතිවරයා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) වහාම නියෝග කර තිබෙනවා.
එමෙන්ම අදාළ පොලිස් නිලධාරීන්ට එරෙහිව අපරාධ චෝදනා ගොනුකිරීමට හැකිද යන්න පිළිබඳව ද මෙමගින් ඉදිරියේදී තහවුරු කර ගැනීමට නියමිතයි.