ඉරානයට අයත් දකුණු පාර්ස් ස්වභාවික වායු නිධියට එල්ල වූ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලෙස ඉරාන ආරක්ෂක අංශ විසින් මැදපෙරදිග කලාපයේ බලශක්ති මධ්‍යස්ථාන වෙත ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා.
ඊශ්‍රායලය විසින් ඉරානයේ පිහිටි ලොව විශාලතම ස්වභාවික ගෑස් නිධිය වන සවුත් පරාස් ප්‍රදේශයට ඊයේ (19) ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් එම ගෑස් නිධිය ආසන්න ප්‍රදේශයේ විශාල ගිනි ගැනීමක් සිදුවූ බවයි.
එම ප්‍රහාරය සම්බන්ධව අදහස් දක්වමින් ඉරාන ජනාධිපති මෂුඩ් පෙසෙෂ්කියන් පැවසුවේ එම ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව ප්‍රමුඛ මැදපෙරදිග රටවලට ප්‍රතිවිපාක විදීමට සිදුවනු ඇති බවයි.
මේ අනුව ඉරාන විසින් කටාර් රාජ්‍යයේ පිහිටි රාස් ලෆාන් කාර්මික නගරයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
එම ප්‍රහාරයෙන් එරට ස්වභාවික ගෑස් නිෂ්පාදන ස්ථානයකට හානි සිදුව ඇති බව වාර්තා වනවා.
මේ අතර කටාර් රාජ්‍යයට ඉරානය විසින් මිසයිල 5ක් එල්ල කර ඇති අතර ඉන් 4ක් ව්‍යර්ථ කිරීමට කටාර් රාජ්‍යය සමත් වුවද එක් මිසයිලයක් රාෆ් ලෆාන් නගරයට පතිත වී ගිනි ගැනීමට ලක් වූ බව කටාර් ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.
මෙම ප්‍රහාරය කටාර් රාජ්‍යය දැඩි ලෙස හෙළා දැක ඇති බව සඳහන්.
එය තම ජාතික ආරක්ෂාවට සහ කලාපයේ ස්ථාවරත්වයට සෘජු තර්ජනයක් බව ඔවුන් නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
කටාර් රාජ්‍ය සඳහන් කරන්නේ තම ස්වෛරීභාව ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය සියලුම පියවර ගන්නා බවයි.
මේ අනුව එරට සිටින ඉරාන හමුදා, ආරක්ෂක අංශ සහ ඔවුන්ගේ කාර්යය මණ්ඩලයට වහාම රටින් පිටවන ලෙස කටාර් විදේශ අමාත්‍යාංශය දැනුම් දී තිබෙනවා.
ඔවුන්ට පැය 24ක් ඇතුළත එම සියලු නිලධාරීන්ට පිටවන ලෙස දැනුම් දී ඇති බව සඳහන්.