ජාතික ඉන්ධන බලපත්‍රය හෙවත් QR කේතය ලබා ගැනීම සඳහා ලියාපදිංචි කිරීමට සහායක් ලෙස විශේෂ WhatsApp අංකයක් හඳුන්වා දීමට ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශ කටයුතු කර තිබෙනවා.
එම අමාත්‍යාංශය පවසන්නේ ලියාපදිංචි වීමේ දී ගැටළු පවතින පුද්ගලයින්ට 076 0001919 යන WhatsApp අංකය වෙත වාහනයේ අංකය යොමු කිරීමෙන් පවතින ගැටළු නිරාකරණය කරගත යුතු බවයි.
ඒ සමඟ ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රයේ ඡායාරූපයක් වලංගු ආදායම් බලපත්‍රය සහ වාහන ලියාපදිංචි සහතිකය ද යොමු කළ යුතු වනවා.
මෙම සඳහා ඉල්ලුම් කිරීමට වාහනයේ ලියාපදිංචි හිමිකරු පමණක් සුදුසුකම් ලැබෙනු ඇති.
එලෙස ලබාදෙන සියලුම තොරතුරු පෞද්ගලික දත්ත 2022අංක 9 දරණ පෞද්ගලික ආරක්ෂන පනතට අනුකූලව ආරක්ෂා කරන බවද ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර QR කේතය සම්බන්ධව ජනතාවට පැන නැගී ඇති ගැටළු විසඳාගෙන අද (18) සිට ඉන්ධන පිරවුම්හල් වෙත පැමිණෙන ලෙස ඉන්ධන පිරවුම්හල් හිමියන්ගේ සංගමය ජනතාවට දැනුම් දෙනවා.
එම සංගමයේ සභාපති කුමාර් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් පැවසුවේ මන හදිසි අවශ්‍යතාවයක් ඇති වුවද QR කේතය නොමැතිව අද සිට ඉන්ධන නිකුත් නොකරන බවයි.
"QR කේතය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා නම්, 1919 දුරකථන අංකයට කතා කරලා, එම ප්‍රශ්න නිරාකරණය කරගෙන ඉන්ධන පිරවුම්හලට එන්න. අපි ඊයේ පෙරේදා යම් යම් සහන දුන්නා QR කේත නැතුව ඉන්ධන නිකුත් කරන්න. නමුත් දැන් නම් QR කේතයට පමණයි ඉන්ධන නිකුත් කරන්නේ. හදිසි අවශ්‍යතාවයක් වුණොත් අපිට කරන්න දෙයක් නෑ. වෙන අයෙකුගේ වාහනයක ඒ හදිසි අවශ්‍යතාවයට යන්න කියලා කියනවා."