දික්ඕවිට වරායට ගෙනා ධීවර යාත්‍රාවේ රුපියල් බිලියන 3ක හෙරොයින් හමුවෙයි

PranaNews.lk

දෙවුන්දර දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහුදින ධීවර යාත්‍රාවේ මත්ද්‍රව්‍ය කිලෝ 123කට ආසන්න ප්‍රමාණයක් තිබූ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසනවා.

අදාළ යාත්‍රාව අද (16) උදෑසන දික්ඕවිට වරායට රැගෙන එනු ලැබුවා.

එහිදී සිදුකළ පරීක්ෂාවකින් පසුව මෙය මත්ද්‍රව්‍ය බවට තහවුරු කිරීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පියවර ගනු ලැබුවා.

මේ අනුව එම යාත්‍රාව තුළ හෙරොයින් මත්ද්‍රව්‍ය අඩංගු වන බවද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පැවසුවා.

ආරක්ෂක අංශ සඳහන් කළේ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 3කට ආසන්න බවයි.

දෙවුන්දර දකුණු දෙසින් වූ මුහුදු ප්‍රදේශයේ දී මෙම බහුදින ධීවර යාත්‍රාව ඊයේ (15) දිනයේ දී නාවික හමුදාව විසින් වැටලූ අතර එහිදී යාත්‍රාව තුළ තිබූ මත්ද්‍රව්‍ය උර 6ක් ද නාවික හමුදා භාරයට ගනු ලැබුවා.

යාත්‍රාව තුළ සිටි සැකකරුවන් පස් දෙනා නාවික හමුදා භාරයට ගත් අතර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන ඒමෙන් පසු ඔවුන් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.