QR ගැටළුව දැන් විසඳලා ඉවරයි - මීට පස්සේ තෙල් පෝලිම් නෑ - CPC සභාපති

PranaNews.lk

ලබන මස අවසන් වන තුරු කිසිඳු තෙල් හිඟයක් නොමැති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී. ජේ. ඒ. එස්. ද රාජකරුණා මහතා පවසනවා.

ඔහු මෙම අදහස් පළ කළේ අද (15) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවකදීයි.

දැනට QR ඛේතය පිළිබඳව කිසිඳු ගැටළුවක් නොමැති බවද ඔහු පෙන්වා දෙනවා.

මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ මොහොතේ දී ජනතාව අනවශ්‍ය ලෙස බියට පත් වූ බවත් මේ හේතුවෙන් වෙනදාට වඩා වැඩියෙන් තෙල් පරිභෝජනය වූ බවත් එම සංස්ථාවේ සභාපතිවරයා පවසනවා.

“අප ඇණවුම් කළ පරිදි තෙල් අපිට ලැබෙමින් පවතිනවා. අනිවාර්යෙන්ම ලබන මාසේ අවසන් වන තෙක් තෙල් අපිට තියෙනවා. නමුත් මේ යුද්දේ ආරම්භ වූ මොහොතේ ජනතාව අනවශ්‍ය ලෙස බය වෙලා. ඒ අය පෝලිම්වල ඉදලා තෙල් අරගත්ත නිසා වෙනදාට වැඩියෙන් තෙල් පරිභෝජනය කර තිබුණා. ඒකත් එක්ක අපි කණ්ඩායම් දෙකක් දැක්කා. සාමාන්‍ය විදිහට තෙල් පරිභෝජනය කරන අය සහ මේකේ ඇතුළේ මීට කලින් පුරුද්ද හැටියට ජාවාරම් කරන අය. නමුත් මේක සාමාන්‍යකරණය ‍වෙයි කියලා හිතුවත් එහෙම වුණේ නෑ.

ඒ කියන්නේ සියයට 20ක විතර අමතර තෙල් ප්‍රමාණයක් පරිහරණය ‍වෙනවා දැක්කා. ඒ නිසා තමයි රජය තීරණය කළේ වහාම QR ක්‍රමය ක්‍රියාත්මක කරන්න. මෙය අද ඉඳලා ක්‍රියාත්මක කෙරෙනවා.

මේ ගැන ජනතාවට ගැළුවක් වෙන්න ඇති එකපාරට ගහෙන් ගෙඩි එන්නා වගේ මේක වුණේ මොකද කියලා. සාමාන්‍යයෙන් මිනිස්සු පරිහරණය කරන තෙල් ප්‍රමාණය ෂෙඩ්වල ඉතිරි වෙලා තියෙනවා. අපේ වෙබ් සයිට් එකේ සහ ෂෙඩ්වල ප්‍රශ්නයක් උදේ තිබුණා. දැන් සියල්ල යාවත්කාලීන කරලා තියෙන්නේ.

පරණ QR කෝඩ් එක තියෙන අයට ඒක ගන්න පුළුවන්. අලුත් වාහනයක් ගත්ත අයට තමයි අලුතින් රෙජිස්ටර් වෙන්න ඕන. මේ වන විට රටේ හැම කෙනෙකුටම QR එක ගැන ප්‍රශ්නයක් නැහැ. අනවශ්‍ය විදියට පෝලිම්වල ඉදලා තෙල් ගන්න අයට තෙල් ගන්න හම්බ වෙන්නේ නෑ. අපි තෙල්හල් හිමියන් ගැනත් තොරතුරු හොයා බලනවා. මීට පස්සේ අපි නිතිය හරියට ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා.

අපි මගී ප්‍රවාහන කටයුතු සඳහා මීට කලින් කළ පරිදි CTB එක හරහා තෙල් ලබා දෙනවා. ඒ අතරේ කෙටි කාලයක් ඇතුළත් ඒ අයගේ රූට් අනුව නැවත වතාවක් QR ඛේතය වෙනස් කරලා ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා.

කෘෂිකර්ම, ගොවිජන සේවා, කර්මාන්ත, ධීවර අංශය ආදී අංශවලට අවශ්‍ය ඉන්ධන හෙට ඉදලාම අපි දෙන්න බලාපොරාත්තු වෙනවා. මේකට ආර්ථිකයේ කිසිම දේකට ගැටලුවක් ඇති වෙන්නේ නෑ. අපිට යුද්ධය ගැන කියන්න බෑ. ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් තත්තවයකට පෙර සූදානමක් තමයි මේක. අපි හිතන තරම් මේක සුළු නෑ. ඉතාමත් බරපතලයි. ලෝකේ අනිත් තැන්වල බලද්දි තෙල් මිල විශාල වශයෙන් වඩිවෙලා.

ගොඩක් රටවල්වල පෝලිම් ඇවිල්ලා තියෙනවා. ඒ ගැටළු කළමණාකරණය කර ගැනිමේ ගැටලු මතුවෙලා තියෙනවා. ඒ නිසා අපි තනි තනිවම තෙල් රැස් කරන්නේ නැතුව, ජනතාව හැටියට සහයෝගයෙන් කටයුතු කරලා තමන්ගේ තෙල් ප්‍රමාණය පමණක් ලබාගෙන අනවශ්‍ය ගමන් පුළුවන් තරම් අඩු කරලා සහයෝගයෙන් වැඩ කරන්න කියලා තමයි ඉල්ලීමක් කරන්න තියෙන්නේ.

ඉරානයට ගහපු ගමන් අපේ ‍රටේ පෝලිම් ඇති වුණා. ඒ ගැන අත්දැකීම් අපට තිබුණා. එදා පෝලිම්වලින් මොකද වුණේ. ඩීසල් මෙට්‍රික් ටොන් 57000ක්, පෙට්‍රල් මෙට්‍රික් ටොන් 47000ක් නිකුත් වෙලා තිබුණා දවස් නවයකදි. නැව් දෙකක් වගේ.

සතියක් තිස්සේ අපි QR ඛේත යාවත්කාලීන කිරීමට පුහුණු කරලත් අද දවසම ගියා අපිට යාවත්කාලින කරන්න. ගිය සැරේ QR එක යවාත්කාලීන කරන්න සතියක් විතර ගියා. අපිට ගියේ දවසයි. මේකේ තාක්ෂණික කාරණා ගොඩක් තියෙනවා. තෙල් පරිභෝජනය අඩු කරන්න තමයි QR එක දාන්නේ.

අපි අනවශ්‍ය ලෙස පරිභෝජනය කළොත් ලබන මාසේ අවසාන වෙනකල් තියෙන තෙල් ටික ඉක්මනින් නැතුව යයි. අපි මේක ඉරිදා නිවාඩු දිනයක කළේ ඒ නිසයි. මීට පස්සේ තෙල් පෝලිම් නෑ. ජනතාවට කිය කියා මේක කළොත් මේ වැඩේ කරන්න බෑ. ඒ නිසා තමයි අපි ඊයේ රෑ තින්දු කරලා මේක අද කරන්න තීරණය කළේ.”