සැප්තැම්බරයේ සිට බස් ඇතුළු පොදු ප්‍රවාහන රථ සියල්ලටම තත්ත්ව පරීක්ෂාවක්

PranaNews.lk

පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන බස් රථ ඇතුළු සියලුම රථවාහන සඳහා තත්ත්ව පරීක්ෂාවක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති බව මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික කවුන්සිලය පවසනවා.

එහි සභාපති මංජුල කුලරත්න මහතා සඳහන් කළේ, අදාළ වැඩසටහන සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙරට පොදු ප්‍රවාහනයේදී සිදුවන රිය අනතුරුවලට ප්‍රධාන වශයෙන් හේතු වී ඇත්තේ රියදුරන්ගේ නොසැලකිල්ල මෙන්ම වාහනවල පවතින තාක්ෂණික දෝෂ සහ විවිධ දුර්වලතා බවයි.

ඒ හේතුවෙන් පොදු ප්‍රවාහනයේ යෙදෙන බස් රථ ඇතුළු සියලුම වාහන තාක්ෂණිකව පරීක්ෂා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට තීරණය කර ඇති බවද ඔහු සඳහන් කළා.

මෙම පරීක්ෂණ කටයුතු සඳහා සුදුසුකම් ලත් තාක්ෂණික නිලධාරීන් බඳවා ගැනීම වෙනුවෙන් මේ වනවිට අයදුම්පත් කැඳවා ඇති අතර, එම බඳවා ගැනීම් අවසන් වූ පසු සැප්තැම්බර් අග වන විට තත්ත්ව පරීක්ෂණ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවද මංජුල කුලරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළා.

ඒ අනුව, මෙරට පොදු ප්‍රවාහන සේවයේ යෙදෙන සියලුම රථවාහන විධිමත් තත්ත්ව පරීක්ෂාවකට ලක් කිරීමට පියවර ගන්නා බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.