හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ දේහයට අදාළ අවසන් කටයුතු අද (20) පස්වරුවේ පොලිස් ගෞරව සහිතව බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව තිබෙනවා.
මෙරට 35 වැනි පොලිස්පතිවරයා වූ සී.ඩී. වික්‍රමරත්න මහතා පසුගිය සිකුරාදා වෙඩි වැදීමකින් මියගිය අතර, මියයන විට ඔහු 63 හැවිරිදි වියේ පසුවුණා.
1986 වසරේ ශ්‍රී ලංකා පොලිස් සේවයට එක් වූ ඔහු, 2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ සේවය අත්හිටුවීමත් සමඟ වැඩබලන පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණා.
ඉන් අනතුරුව 2020 නොවැම්බර් 27 වැනිදා ඔහු මෙරට පොලිස්පතිවරයා ලෙස පත් කෙරුණු අතර, 2023 මාර්තු මාසයේ විශ්‍රාම යාමට නියමිතව තිබුණද නව පොලිස්පතිවරයෙකු පත් කරන තෙක් සේවා දිගු ලබාදීම හේතුවෙන් තවත් මාස කිහිපයක් එම ධුරයේ කටයුතු කළා.
ඔහු නිල වශයෙන් විශ්‍රාම ගනු ලැබුවේ 2023 නොවැම්බර් 23 වැනිදායි.
මේ අතර, හිටපු පොලිස්පතිවරයාගේ මරණය සම්බන්ධයෙන් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී නැගෙනහිර කොළඹ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විවෘත තීන්දුවක් ලබාදී තිබෙනවා.
වැඩිදුර රසායනාගාර පරීක්ෂණ සඳහා සිරුරේ කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති අතර, සිද්ධියට යොදාගත් බව කියන ගිනි අවිය ද රස පරීක්ෂණ සඳහා භාරදී ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
බස්නාහිර පළාත දකුණ දිසා අපරාධ කොට්ඨාසය සහ මාලබේ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, විමර්ශනවලට අදාළව ඔහුගේ බිරිඳ සහ ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකුගෙන් ප්‍රකාශ ද සටහන් කරගෙන තිබෙනවා.