ජෝර්දානයේ වෙසෙන අමෙරිකානු පුරවැසියන් සඳහා එරට අමෙරිකානු තානාපති කාර්යාලය හදිසි ආරක්ෂක දැනුම්දීමක් නිකුත් කර තිබෙනවා.
නිශ්චිත සහ විශ්වාසදායක ආරක්ෂක තර්ජනයක් හේතුවෙන් ජෝර්දානයේ අකාබා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ අකාබා වරාය වෙත ජනතාවගේ ප්‍රවේශය සීමා කර ඇති බැවින්, එම ප්‍රදේශ වෙත නොයන ලෙස අමෙරිකානු පුරවැසියන්ට උපදෙස් ලබාදී ඇති බව වාර්තා වනවා.
අද (19) නිකුත් කළ මෙම ආරක්ෂක නිවේදනය මඟින් ජෝර්දාන බලධාරීන් නිකුත් කරන සියලු ආරක්ෂක උපදෙස් දැඩිව අනුගමනය කරන ලෙසද දැනුම් දී තිබෙනවා.
එමෙන්ම, ජෝර්දානයේ හමුදා කඳවුරු සහ ආරක්ෂක ස්ථාන වෙත ගමන් කිරීමෙන් වළකින ලෙසත්, විරෝධතා සහ විශාල ජන රැස්වීම් පැවැත්වෙන ප්‍රදේශවලට නොයන ලෙසත් අමෙරිකානු පුරවැසියන්ට උපදෙස් ලබාදී ඇති බව සඳහන්.
ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින්, පසුගිය මාර්තු 2 වැනිදා සිට ජෝර්දානයේ සේවය කරන අත්‍යවශ්‍ය නොවන අමෙරිකානු රජයේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට එරටින් පිටව යන ලෙස අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නියෝග කර තිබුණා.
තවද, ප්‍රාදේශීය මාධ්‍ය ඔස්සේ ආරක්ෂක තොරතුරු නිරන්තරයෙන් නිරීක්ෂණය කරන ලෙසත්, ගුවන් ගමන්වලට බලපෑම් ඇතිවී ඇත්නම් අදාළ ගුවන් සමාගම සමඟ සෘජුව සම්බන්ධ වී යාවත්කාලීන තොරතුරු ලබාගන්නා ලෙසත් දැනුම් දී ඇති බව වාර්තා වනවා.
එමෙන්ම, අමෙරිකාව සමඟ සම්බන්ධතා ඇති ස්ථානවලදී විශේෂ අවධානයෙන් කටයුතු කරන ලෙසත්, හැකි සෑම අවස්ථාවකම අඩු ප්‍රසිද්ධියකින් කටයුතු කරන ලෙසත් අමෙරිකානු තානාපති කාර්යාලය සිය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබෙනවා.