ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසාන භූමිය තුළ අද (19) පස්වරු 3.25ට සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලබා ඇත්තේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන "සැන්ඩෝ" නමැත්තාගේ පියා බව පොලීසිය පවසනවා.
තුවාලකරු දෙහිවල ඕබන්සයිඩ් ධීවර නිවාස සංකීර්ණයේ පදිංචිකරුවෙකු බවයි වාර්තා වන්නේ.
මුහුණු ආවරණය වන පරිදි හෙල්මට් පැළඳ ස්කූටර් වර්ගයේ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු සුසාන භූමියට ඇතුළු වී මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය සඳහන් කළා.
මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ 9mm වර්ගයේ ගිනි අවියක් භාවිත කර මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි වැදීමෙන් ඔහුගේ වම් අතට සහ පපු ප්‍රදේශයට තුවාල සිදුවී ඇති අතර, මේ වනවිට කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු අංශයේ ප්‍රතිකාර ලබමින් සිටින බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.