අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පොලිස් ගිනිඅවිය උදුරාගෙන වෙඩි තබා පළායයි

PranaNews.lk

කටුනායක දැවමොට්ටාව ප්‍රදේශයේදී අද (15) සවස සිදුවූ වෙඩි තැබීමකින් පොලිස් නිලධාරියෙකු තුවාල ලබා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ, අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් නිලධාරියා සතුව තිබූ රාජකාරි ගිනිඅවිය උදුරාගෙන එම නිලධාරියාට වෙඩි තබා පළාගොස් ඇති බවයි.

ලද තොරතුරකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු යතුරුපැදියකින් ගමන් කරමින් සිටි සැකකරු ලුහුබැඳ ගොස් කටුනායක දැවමොට්ටාව ප්‍රදේශයේදී ඔහු නතර කර ප්‍රශ්න කිරීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන් අනතුරුව සැකකරු පොලිස් ස්ථානය වෙත රැගෙන යාමට සූදානම් වූ අවස්ථාවේදී, එක් පොලිස් නිලධාරියෙකු සැකකරු පැමිණි යතුරුපැදිය රැගෙන ඒම සඳහා පිටත්ව ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එම අවස්ථාවේදී අනෙක් පොලිස් නිලධාරියා සමඟ සිටි සැකකරු හදිසියේම ක්‍රියාත්මක වී, නිලධාරියා සතුව තිබූ රාජකාරි ගිනිඅවිය උදුරාගෙන ඔහුට වෙඩි තබා තිබෙනවා.

අනතුරුව සැකකරු වෙනත් යතුරුපැදියකින් පළාගොස් ඇති අතර, තුවාල ලැබූ පොලිස් නිලධාරියා ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.