මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත යොමු කර තිබෙනවා.
ඔහු සඳහන් කළේ, දින කිහිපයකට පෙර අදාළ ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කළද, මේ දක්වා ඊට ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි.
එමෙන්ම, සිය ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් භාරගෙන තිබේද නැද්ද යන්න සම්බන්ධයෙන් ද මේ වන තෙක් කිසිදු දැනුම්දීමක් ලැබී නොමැති බව ඔහු ප්‍රකාශ කළා.
සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට ගත් තීරණය පෞද්ගලික හේතුවක් මත සිදුකළ එකක් බවද මහාචාර්ය සරත් අබේකෝන් මහතා සඳහන් කළා.
ඔහු මීට පෙර පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙසද කටයුතු කර තිබෙනවා.
මේ අතර, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් ධූරය ද මේ වන විට හිස්ව පවතින අතර, එම ධූරය දැරූ මංජුලා මඩහපොල මහත්මිය පසුගියදා විශ්‍රාම යාම හේතුවෙන් එම තනතුරේ වැඩබැලීම සඳහා මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම් ඉෂාන් විජේතිලක මහතා පත්කර තිබෙනවා.