අනුමත නොකළ මුහුදු මාර්ගයක ගමන් කළ තවත් නෞකාවකට ප්‍රහාරයක් එල්ල කළ බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය (IRGC) ප්‍රකාශ කර තිබෙනවා.
හෝමූස් සමුද්‍ර සන්ධියේදී මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, සයිප්‍රස් ධජය යටතේ ගමන් කළ නෞකාවක් ඉලක්ක කරමින් වෙඩි ප්‍රහාර එල්ල කළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙවැනි සිදුවීම් හේතුවෙන් හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත දැනුම් දෙන තුරු වසා දැමීමට පියවර ගත් බව ඉරාන බලධාරීන් නිවේදනය කර තිබෙනවා.
අමෙරිකානු සහ ඊශ්‍රායල ආක්‍රමණ ලෙස හඳුන්වන ක්‍රියාකාරකම් තවදුරටත් ඉදිරියට ගියහොත් ඊට විනාශකාරී ප්‍රතිචාර ලබාදෙන බවද ඉරානය අනතුරු අඟවා තිබෙනවා.
මේ අතර මැදපෙරදිග උණුසුම් තත්ත්වය තවත් උත්සන්න කරමින්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉලක්ක කරමින් ඉරානය ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර එල්ල කර ඇති බව වාර්තා වනවා.
කෙසේ වෙතත් එල්ල වූ ඩ්‍රෝන යානා සහ මිසයිල බොහොමයක් බිම හෙලීමට එක්සත් අරාබි එමීර් රාජ්‍ය ආරක්ෂක අංශ සමත් වී ඇති බවද සඳහන්.
පවතින ආරක්ෂක තත්ත්වය හේතුවෙන් කටාර් සහ බහරේන් රාජ්‍යයන් ද සිය ආරක්ෂක අනතුරු ඇඟවීම් ඉහළ නංවා තිබෙනවා.
එම රටවල ජනතාවට ආරක්ෂිත ස්ථානවල නවාතැන් ගන්නා ලෙස බලධාරීන් උපදෙස් ලබාදී ඇති බවද විදෙස් වාර්තාවල දැක්වෙනවා.
මේ අතර අමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින්ද ඉරානය ප්‍රහාර මාලාවක් එල්ල කර ඇති බව සඳහන්.
ජොර්දානයේ ප්‍රින්ස් හසන් ගුවන් කඳවුර ඉලක්ක කරමින් බැලැස්ටික් මිසයිල කිහිපයක් එල්ල කර ඇති අතර, බහරේනය සහ කුවේට්හි පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු කිහිපයක් වෙත ඩ්‍රෝන ප්‍රහාර ද එල්ල කර ඇති බව වාර්තා වනවා.
මේ අතර ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය නැවතත් අවධාරණය කර ඇත්තේ, නැවත දැනුම් දෙන තුරු හෝමූස් සමුද්‍ර සන්ධිය වසා තැබීමට තීරණය කර ඇති බවයි.