බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනයට තහනමක්

PranaNews.lk

බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදනය කරන භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම තහනම් කරමින් රජය නව රෙගුලාසියක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මුදල්, ක්‍රම සම්පාදන හා ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් මෙම නියෝගය නිකුත් කර ඇති බව වාර්තා වනවා.

ඒ අනුව ජූලි 10 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය මගින් පූර්ණ වශයෙන් හෝ අර්ධ වශයෙන් කැණීම් කරන, නිෂ්පාදනය කරන හෝ නිමකරන ඕනෑම භාණ්ඩයක් මෙරටට ආනයනය කිරීම තහනම් වනවා.

ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ (ILO) තීරණ සැලකිල්ලට ගනිමින් මෙම රෙගුලාසි අදාළ වන භාණ්ඩ සහ රටවල් සම්බන්ධයෙන් අමාත්‍යවරයා කාලානුරූපීව නිවේදන නිකුත් කරනු ඇති බව අදාළ ගැසට් නිවේදනයේ සඳහන්.

එමෙන්ම, විදේශ රටකින් භාණ්ඩ ආනයනය කිරීමේදී එම භාණ්ඩ බලහත්කාර ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදනය කර නොමැති බව තහවුරු කරන ලේඛන ශ්‍රී ලංකා රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කිරීමද අනිවාර්ය කර තිබෙනවා.

මේ අතර, බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය වැළැක්වීමට ප්‍රමාණවත් ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60කින් ආනයනය කරන භාණ්ඩ සඳහා අතිරේක ආනයන බද්දක් පැනවීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා යෝජනා කළා.

ඒ අනුව ශ්‍රී ලංකාවෙන් ආනයනය කරන භාණ්ඩ සඳහා සියයට 12.5ක අතිරේක බද්දක් පැනවීමට අමෙරිකානු පරිපාලනය යෝජනා කර ඇති අතර, බලහත්කාර ශ්‍රමයෙන් නිෂ්පාදිත භාණ්ඩ ආනයනය තහනම් කිරීම සහ ඒ සම්බන්ධ නීති ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට ප්‍රමාණවත් පියවර ගෙන නොමැති බව ඊට හේතුව ලෙස දක්වා තිබෙනවා.

කෙසේ වෙතත් නව රෙගුලාසියත් සමඟ මින් ඉදිරියට බලහත්කාරයෙන් යොදවන ශ්‍රමය භාවිතයෙන් නිෂ්පාදනය කරන හෝ නිමකරන භාණ්ඩ ශ්‍රී ලංකාවට ආනයනය කිරීම නීතියෙන් තහනම් වනවා.