ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම මාසයේ ප්‍රංශයේ සිදුකිරීමට නියමිතව තිබූ නිල සංචාරය වසර අවසානය දක්වා කල් දමා ඇති බව වාර්තා වනවා.
මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධිය ඇතුළු දේශීය කරුණු සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.
සංචාරය කල් දැමීම සම්බන්ධයෙන් ප්‍රංශ බලධාරීන් දැනුවත් කර ඇති අතර, මේ වසර තුළම නව දිනයක සංචාරය සිදුකිරීම සඳහා ඉල්ලීමක් ද ඉදිරිපත් කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා ප්‍රකාශ කළා.
මෙම ආරාධනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් මහතා අතර පසුගිය පෙබරවාරි මාසයේ ඉන්දියාවේ නවදිල්ලියේ පැවති AI Impact Summit සමුළුවට සමගාමීව පැවති හමුවේදී ලැබී තිබුණා.
ප්‍රංශ සංචාරයේදී යුරෝපා සංගමයේ GSP+ බදු සහන ක්‍රමය ශ්‍රී ලංකාවට තවදුරටත් ලබා ගැනීම සඳහා ප්‍රංශයේ සහාය ලබා ගැනීම පිළිබඳව සාකච්ඡා කිරීමට ද සැලසුම් කර තිබූ බව සඳහන්.
එමෙන්ම ආර්ථික හා මූල්‍ය සහයෝගීතාව මෙන්ම ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළ අවබෝධතා ගිවිසුම් (MoUs) තුනකට අත්සන් තැබීම සඳහා ද සැලසුම් කර තිබූ බව විදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවා.
මෙම සංචාරයට විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත මහතා ද එක්වීමට නියමිතව සිටියා.
කෙසේ වෙතත්, ලෝක බැංකු සමූහය 2026 ජූලි 1 වැනිදා නිකුත් කළ නව රටවල ආදායම් වර්ගීකරණයට අනුව ශ්‍රී ලංකාව පහළ-මධ්‍යම ආදායම් ලබන රටක සිට ඉහළ-මධ්‍යම ආදායම් ලබන රටක් ලෙස උසස් කිරීමත් සමඟ GSP+ සහන අහිමි වීමේ අවදානමක් පිළිබඳ විවිධ මත පළ වී තිබෙනවා.
කෙසේ නමුත්, 2027 සිට ක්‍රියාත්මක වන නව EU GSP නීති අනුව වසර තුනක් අඛණ්ඩව Upper-Middle Income හෝ High Income ලෙස වර්ගීකරණය වන රටවල් GSP ප්‍රතිලාභයෙන් ඉවත් කිරීමේ විධිවිධාන ඇතුළත් වන බව ද සඳහන්.