2027 අයවැය නොවැම්බර් 12 දා පාර්ලිමේන්තුවට

PranaNews.lk

2027 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත ලබන නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යාංශය සැලසුම් කර ඇති බව වාර්තා වනවා.

භාණ්ඩාගාරය සකස් කර ඇති යෝජිත කාලසටහනට අනුව, අමාත්‍යාංශවල වියදම් ඇස්තමේන්තු ලබා ගැනීමෙන් අනතුරුව පනත් කෙටුම්පත අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඉන් අනතුරුව එය ඔක්තෝබර් 18 වැනිදා ගැසට් කිරීමට සැලසුම් කර ඇති අතර, ඔක්තෝබර් මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර පළමු වර කියවීම සිදුකිරීමට නියමිත බව සඳහන්.

නොවැම්බර් 12 වැනිදා පැවැත්වෙන දෙවැනි වර කියවීමේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඒ අනුව, අයවැයේ දෙවැනි වර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට 20 දක්වා පැවැත්වෙන අතර, අනතුරුව කාරක සභා අවස්ථාවේ විවාද සහ සංශෝධන දෙසැම්බර් 14 වැනිදා දක්වා පැවැත්වීමට නියමිත බව ද වාර්තා වනවා.