මහා භාණ්ඩාගාරයේ භාවිත කළ E-mail පද්ධතිය 2019 වසරේ සිට යල්පැනගොස් තිබූ බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (CoPF) හමුවේ අනාවරණය කර තිබෙනවා.
මහා භාණ්ඩාගාරය විදෙස් ණය වාරිකයක් ලෙස ගෙවූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදලක් වෙනත් පාර්ශ්වයකට මාරුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් CoPF සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා සිදු කළ ප්‍රශ්න කිරීම්වලට පිළිතුරු ලබාදෙමින් SLCERT නිලධාරීන් මේ බව ප්‍රකාශ කර තිබුණා.
එහිදී ඔවුන් සඳහන් කළේ, මහා භාණ්ඩාගාරය භාවිත කළ E-mail Server පද්ධතිය 2016 වසරේදී ස්ථාපිත කර ඇති අතර, එය 2019 වසරේ සිට යල්පැනගොස් තිබියදීත් 2026 වසර දක්වා කිසිදු Update කිරීමකින් තොරව භාවිත කර ඇති බවයි.
ඒ හේතුවෙන් එම පද්ධතිය හරහා හුවමාරු වූ පණිවුඩ අනාරක්ෂිත තත්ත්වයක පැවති බවත්, මහා භාණ්ඩාගාරයට අයත් තොරතුරු පිටතට ගොස් ඇත්තේ එම යල්පැනගිය Server පද්ධතිය හරහා බවත් අනාවරණය වී තිබෙනවා.
මේ අතර SLCERT නිලධාරීන් CoPF කමිටුවට දැනුම් දී ඇත්තේ, රාජ්‍ය ආයතන සඳහා සයිබර් ආරක්ෂාව සම්බන්ධ මාර්ගෝපදේශ නිකුත් කරන අතර ආරක්ෂක තක්සේරු (Security Assessment) ද සිදුකරන බවයි.
එමෙන්ම, ජාතික සයිබර් ආරක්ෂණ මෙහෙයුම් මධ්‍යස්ථානය 2025 සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව මහා භාණ්ඩාගාරයට ද අවශ්‍ය උපදෙස් ලබාදී ඇති බව ද ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.