කොළඹ සහ ඒ අවට ප්‍රදේශවල බස් ප්‍රමුඛතා මංතීරු නීතිය අද (29) සිට යළිත් වරක් තදින්ම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙනවා.
ඒ අනුව උදෑසන 6 සිට 9 දක්වා කාලය තුළ සහ පස්වරු 4 සිට 7 දක්වා වූ අධික රථවාහන තදබදය පවතින වේලාවන්හිදී මෙම නීතිය බලාත්මක වීමට නියමිතයි.
ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා සඳහන් කළේ, අද සිට නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වැඩපිළිවෙළ යළි හඳුන්වා දෙන බවයි.
මේ සඳහා සිය පූර්ණ සහයෝගය ලබාදෙන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර බස් ප්‍රමුඛතා මංතීරු නීතිය උල්ලංඝනය කරන රියදුරන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට සියලුම පොලිස් නිලධාරීන්ට දැනටමත් උපදෙස් ලබා දී ඇති බවයි පොලිස් රථ වාහන පාලන සහ මාර්ග ආරක්ෂණ කොට්ඨාශයේ සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මහතා සඳහන් කළේ.
එමෙන්ම අද සිට තවත් මාර්ග 5ක් ඔස්සේ මෙට්‍රෝ බස් රථ 122ක් ධාවනයට එක් කිරීමට පියවර ගන්නා බව මෙට්‍රෝ බස් සමාගමේ සභාපති යූ.පී. තිලකරත්න මහතා වැඩිදුරටත් අනාවරණය කළා.