ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්පූර්ණයෙන්ම ප්‍රතිසංවිධානය කිරීම සඳහා වන විශේෂ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යවරයාගේ නියමය පරිදි පළකර ඇති මෙම පනත් කෙටුම්පත මඟින් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් පාලනය, නියාමනය, ප්‍රවර්ධනය, සංවර්ධනය සහ සමස්ත පරිපාලන ක්‍රියාවලිය සඳහා වන "ශ්‍රී ලංකා ක්‍රිකට්" ආයතනය නව ප්‍රතිසංස්කරණ සහිතව නැවත ස්ථාපනය කිරීමට නියමිතයි.
යහපාලනය, සුචරිතවාදය, විනිවිදභාවය, වගවීම, ඇතුළත්භාවය සහ සමාන අවස්ථා සැලසීම යන පංචවිධ මූලධර්මයන් පෙරදැරි කරගනිමින් මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම ක්‍රීඩාවට සම්බන්ධ සියලු පාර්ශවයන්ගේ සුභසාධනය ආරක්ෂා කිරීම ද මෙහි ප්‍රධාන අරමුණක් වන බවයි වාර්තා වන්නේ.
එමෙන්ම දූෂණයෙන් සහ අනෙකුත් අනිසි ක්‍රියාකාරකම්වලින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව මුළුමනින්ම ආරක්ෂා කරගැනීමට අදාළ ප්‍රබල බලතල සහ කාර්යයන් සඳහා වන විශේෂ විධිවිධාන රැසක් ද මෙම නව පනත් කෙටුම්පතට ඇතුළත් කර තිබෙනවා.