ඇවන්ගාඩ් ගැන COPE කමිටුවෙන් අල්ලස් කොමිසමට සහ CIDයට පැමිණිලි

PranaNews.lk

ශ්‍රී ලංකා නාවික හමුදාව සහ රක්නා ආරක්ෂක ලංකා සමාගම එක්ව සිදුකරමින් සිටි මුහුදු ආරක්ෂණ සේවාව සඳහා ඇවන්ගාඩ් (Avant-Garde) පෞද්ගලික සමාගම එක්කර ගැනීම සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට (CID) පැමිණිලි කිරීමට කටයුතු කරන බව පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE කමිටුව) පවසනවා.

එහි සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ, අදාළ මුහුදු ආරක්ෂණ කටයුතු සඳහා ඇවන්ගාඩ් සමාගම එක්කර ගැනීම හේතුවෙන් රජයට විශාල මුදලක් අහිමි වී ඇති බවයි.

රක්නා ආරක්ෂක ලංකා සමාගමේ නිලධාරීන් පසුගියදා COPE කමිටුව හමුවට කැඳවා තිබූ අතර, එහිදී මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් COPE කමිටු සභාපතිවරයා දීර්ඝ ලෙස ප්‍රශ්න කර තිබෙනවා.

එහිදී අදහස් දැක්වූ COPE කමිටු සාමාජික පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ප්‍රශ්න කර සිටියේ, අදාළ මුහුදු ආරක්ෂණ කටයුතු සඳහා ඇවන්ගාඩ් සමාගම එක්කර ගැනීමට ගිවිසුම් ගතවූයේ කුමන පාර්ශවයකගේ අවශ්‍යතාවය මතද යන්නයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් COPE කමිටු සභාපති වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා සඳහන් කළේ, අදාළ සමාගම සමග ඇති සියලු ගිවිසුම් අහෝසි කිරීමටත්, ඒ හරහා රජයට සිදුවූ පාඩුව අයකර ගැනීමටත් කටයුතු කරන බවයි.

එමෙන්ම මෙම සිදුවීමට සහයෝගය ලබාදුන් සියලු පුද්ගලයින්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද COPE කමිටු සභාපතිවරයා වැඩිදුරටත් අවධාරණය කළා.