මීගමුව බන්ධනාගාර සිද්ධිය මුල්කරගෙන හර්ෂණට විශ්වාසභංගයක්

PranaNews.lk

ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංග යෝජනාව අද (21) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වෙත නිල වශයෙන් භාරදී තිබෙනවා.

මීගමුව බන්ධනාගාරයේ 2026 ජූලි 5 සහ 6 යන දෙදින තුළ ඇති වූ ගැටුම්වලින් බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත්, තවත් පිරිසක් බරපතළ තුවාල ලැබීමත් සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයා ලෙස සිය වගකීම් නිසි පරිදි ඉටු කිරීමට අපොහොසත් වූ බව චෝදනා කරමින් මෙම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කර ඇති බව වාර්තා වනවා.

එහි වැඩිදුරටත් සඳහන් වන්නේ, 2024 අංක 2412/08 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය අනුව අධිකරණ අමාත්‍යවරයා වෙත පැවරී ඇති බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ප්‍රතිපත්ති සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම, බන්ධනාගාර පරිපාලනය, ප්‍රතිසංස්කරණ කටයුතු, යටිතල පහසුකම් සංවර්ධනය සහ බන්ධනාගාරවල තදබදය අවම කිරීම යන වගකීම් ප්‍රමාණවත් ලෙස ඉටු කර නොමැති බවයි.

ඒ හේතුවෙන් බන්ධනාගාර පද්ධතිය තුළ උද්ගත වී ඇති බරපතළ ගැටලු සඳහා අමාත්‍යවරයා දේශපාලන වශයෙන් වගකිව යුතු බව ද විශ්වාසභංග යෝජනාවෙන් අවධාරණය කර තිබෙනවා.

මෙම විශ්වාසභංග යෝජනාවට විපක්ෂයේ මන්ත්‍රීවරුන් 37 දෙනෙකුගේ අත්සන් හිමිව ඇති බව ද වාර්තා වනවා.