අධිකරණ ඇමතිට එරෙහි විශ්වාසභංගය අද කථානායකට

PranaNews.lk

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද (21) කථානායකවරයා වෙත භාරදීමට විපක්ෂය තීරණය කර ඇති බව වාර්තා වනවා.

විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධව එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර, පාර්ලිමේන්තුව අද (21) පෙරවරු 9.30ට කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් නැවත රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළා.

අද දින පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 119 සහ 120 යටතේ තීරණ දෙකක් අනුමත කිරීම සඳහා විවාදයට ගැනීමට නියමිතයි.

එමෙන්ම පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වා විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ට පූර්ණ විද්‍යුත් වාහන ආනයනය සඳහා බලපත්‍ර ලබාදීමේ යෝජනා ක්‍රමය සම්බන්ධයෙන් රජයේ ගිණුම් කාරක සභාව සිදුකළ පරීක්ෂණ වාර්තාව නීතිපතිවරයා වෙත යොමු කිරීම පිළිබඳ විශේෂ යෝජනාවක් විවාදයට ගැනීමට නියමිත වනවා.

ඊට අමතරව, පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (COPE) විමර්ශනවලදී අනාවරණය කළ කරුණු සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම සඳහා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත යොමු කිරීම පිළිබඳව ද අද විවාදයක් පැවැත්වීමට නියමිතයි.

පස්වරු 2.30 සිට 5.30 දක්වා මහජන පෙත්සම් පිළිබඳ කාරක සභාවේ කාර්යසාධනය සම්බන්ධයෙන් සභාව කල් තැබීමේ යෝජනාවක් ද විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය සඳහන් කළා.