දකුණු ආසියාවේ දීර්ඝතම වාරි උමගේ කැණීම් සාර්ථකව නිමයි

PranaNews.lk

දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමගේ කැණීම් කටයුතු සාර්ථකව අවසන් කරමින් ශ්‍රී ලංකාවේ වාරි ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයක් අද (15) සනිටුහන් කෙරුණා.

මහවැලි මහ සැලැස්මේ ප්‍රධාන ව්‍යාපෘතියක් වන උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන කිලෝමීටර් 27.7ක් දිග යෝධ වාරි උමගේ කැණීම් කටයුතු, දෙපසින් ආරම්භ කළ උමං මාර්ග පොළොව යටදී එකිනෙක හමුවීමත් සමඟ නිල වශයෙන් අවසන් වුණා.

ආසියානු සංවර්ධන බැංකුවේ මූල්‍ය දායකත්වයෙන් ක්‍රියාත්මක වන මහවැලි ජල සුරක්ෂිතතා ආයෝජන වැඩසටහන යටතේ ඉදිකෙරෙන මෙම උමග දකුණු ආසියාවේ දීර්ඝතම වාරිමාර්ග උමග ලෙස සැලකෙනවා.

මහමීගස්වැව සහ කොදුරුවාව ප්‍රදේශවලින් නවීන Tunnel Boring Machine (TBM) යන්ත්‍ර දෙකක් භාවිත කර එකවර ආරම්භ කළ කැණීම් කටයුතු අද සාර්ථකව සම්බන්ධ වූ අතර, මෙම අවස්ථාව ඉංජිනේරු ක්ෂේත්‍රයේ "Tunnel Breakthrough" ලෙස හැඳින්වෙනවා.

කිලෝමීටර් 240කට ආසන්න දිගකින් යුත් උතුරුමැද මහ ඇළ ව්‍යාපෘතිය සම්පූර්ණ වූ පසු, මහා වාරි පද්ධති 12ක් සහ එල්ලංගා පද්ධති 130කට අයත් වැව් 1,505කට ජලය සැපයීමට හැකි වනු ඇති.

එමෙන්ම පවුල් 25,000කට සෘජු ප්‍රතිලාභ හිමිවන අතර, හෙක්ටයාර 74,000ක වගාබිම් සඳහා යල සහ මහ කන්න දෙකේදීම වාරි ජලය සැපයීමට මෙම ව්‍යාපෘතියෙන් හැකියාව ලැබෙනවා.

රජරට ප්‍රදේශයේ ජනතාව මුහුණ දෙන හඳුනා නොගත් වකුගඩු රෝගය අවම කිරීමේ අරමුණින් පිරිසිදු පානීය ජලය ලබාදීම ද මෙම ව්‍යාපෘතියේ තවත් ප්‍රධාන අරමුණක්.

ඒ අනුව වසරකට ජල ඝන මීටර් මිලියන 70ක් මුදාහැරමින් මිලියන 1.5කට ආසන්න ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරාලීමට සැලසුම් කර තිබෙනවා.