පිල්ලෙයාන් ජූලි 24 දක්වා යළි රිමාන්ඩ්

PranaNews.lk

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් මහතා ලබන 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය අද (13) නියෝග කළා.

සැකකරු අද (13) වීඩියෝ තාක්ෂණය ඔස්සේ මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කළ අතර, නඩුව මහේස්ත්‍රාත් විනිසුරු ඒ. දර්ශිනි මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබුවා.

2008 වසරේ මඩකලපුව දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක සිදුවූ ඝාතන පහක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ගොනු කර ඇති නඩුවට අදාළව මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

එහි තුන්වන සැකකරු ලෙස සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් නම් කර ඇති අතර, කල්ලඩි ප්‍රදේශයේ සිදුවූ ඝාතන පහකට අදාළ චෝදනා තුනක් සහ තවත් එක් චෝදනාවක් සම්බන්ධයෙන් අද දින අධිකරණයේ කරුණු සලකා බැලුණා.

නඩු විභාගයේදී සාක්ෂිකරුවන් අධිකරණය හමුවේ පෙනී සිටි අතර, සැකකරු වෙනුවෙන් නීතිඥවරුන් දෙදෙනෙකු පෙනී සිටියා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේ 2008 වසරේදී T-56 ගිනිඅවි යොදාගෙන සිදුකළ ඝාතන කිහිපයක් පිළිබඳ අනාවරණය වූ තොරතුරු මත මෙම නඩුව පවරා ඇති බවයි.

ඒ අනුව, 2008 ජනවාරි 9 වනදා කල්ලඩි මුරුගන් කෝවිල අසලදී හිටපු පොලිස් නිලධාරියෙකු ඇතුළු දෙදෙනෙකු ඝාතනය කිරීම, මැයි 22 වනදා කාත්තන්කුඩි ප්‍රධාන මාර්ගයේදී පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ අගෝස්තු 20 වනදා වවුනතීව් කොතියපුල ප්‍රදේශයේදී තවත් පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධීන්ට අදාළව සැකකරු සෘජුවම සම්බන්ධ බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ද අධිකරණයට දැනුම් දී තිබෙනවා.

සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන ජූලි 24 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළා.