මෙවර යල කන්නයේ වී මිලදී ගැනීමේ වැඩසටහන අද (13) සිට ආරම්භ කරන බව වී අලෙවි මණ්ඩලය පවසනවා.
එහි සභාපති මංජුල පින්නලන්ද මහතා සඳහන් කළේ, මේ දිනවල වැඩි වශයෙන් අස්වනු නෙළන ප්‍රදේශ ආශ්‍රිතව පිහිටි වී ගබඩා විවෘත කරමින් මිලදී ගැනීම් ආරම්භ කරන බවයි.
ඒ අනුව උතුරු, නැගෙනහිර සහ අම්පාර ප්‍රදේශවල මේ වන විට වී අස්වනු නෙළීම බහුලව සිදුවන බැවින්, එම ප්‍රදේශවලින් ප්‍රථමයෙන් වී මිලදී ගැනීමට කටයුතු කරන බව ඔහු ප්‍රකාශ කළා.
මෙවර වී මිලදී ගැනීම සඳහා නාඩු වී කිලෝග්‍රෑමයක් රුපියල් 120කට, සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 130කට සහ කීරි සම්බා වී කිලෝග්‍රෑමයක් රුපියල් 140කට මිලදී ගැනීමට තීරණය කර තිබෙනවා.
වී අලෙවි මණ්ඩලය සඳහන් කළේ දිවයින පුරා ස්ථාන 143ක පිහිටි ගබඩා මඟින් වී මිලදී ගැනීම සඳහා අවශ්‍ය සැලසුම් මේ වන විට සකස් කර ඇති බවයි.
මෙවර වී මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 6,000ක මුදලක් වෙන් කර ඇති අතර, ඊට අමතරව ඔඩපන ණය යටතේ තවත් රුපියල් මිලියන 10,000ක් වෙන් කර තිබෙනවා.
එමඟින් කුඩා හා මධ්‍ය පරිමාණ වී මෝල් හිමියන්ට වී තොග රැස්කර ගැනීම සඳහා පහසුකම් සැලසෙන අතර, එම වැඩසටහන ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන බව වී අලෙවි මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළා.