ශ්‍රී ලංකාවට හිමි ICC කාන්තා චැම්පියන්ස් කුසලාන සත්කාරකත්වය අවදානමේ ?

PranaNews.lk

ලබන වසරේ (2027) පෙබරවාරි 14 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ICC Women’s Champions Trophy තරගාවලියේ සත්කාරකත්වය අර්බුදයකට ලක්වීමේ අවදානමක් මතුව ඇති බව ක්‍රිකට් ක්ෂේත්‍ර ආරංචි මාර්ග සඳහන් කරනවා.

මෙය ශ්‍රී ලංකාවට හිමි වූ විශාලතම ජාත්‍යන්තර කාන්තා ක්‍රිකට් තරගාවලි සත්කාරකත්වය වන අතර, කණ්ඩායම් 6ක් සහභාගී වන මෙම තරගාවලියේ තරග 16ක් ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

වාර්තා වන පරිදි, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය සඳහා සාමාජිකයින් නව දෙනෙකුගෙන් සමන්විත ක්‍රිකට් පරිවර්තන කමිටුවක් පත් කිරීමෙන් අනතුරුව මෙම තත්ත්වය මතුව තිබෙනවා.

ICC ව්‍යවස්ථාව අනුව ජාතික ක්‍රිකට් ආයතනවල පාලනයට රජයේ සෘජු මැදිහත්වීම් පිළිගනු නොලැබෙන අතර, එවැනි තත්ත්වයක් පවතින බවට සැලකුවහොත් තරගාවලිය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීම සම්බන්ධයෙන් ICC මැලිකමක් දක්වන බවයි වාර්තා වන්නේ.

2023 වසරේ ද රජයේ මැදිහත්වීමක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ICC විසින් තාවකාලිකව අත්හිටුවනු ලැබූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාවට 2024 වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ද අහිමි වුණා.

ඒ අනුව, වත්මන් ක්‍රිකට් පරිවර්තන කමිටුව ද රජයේ මැදිහත්වීමක් ලෙස ICC විසින් අර්ථකථනය කළහොත්, ශ්‍රී ලංකාවට හිමි ICC Women’s Champions Trophy 2027 සත්කාරකත්වය සම්බන්ධයෙන් ගැටලු මතුවිය හැකි බව ක්‍රිකට් ප්‍රවීණයන් පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, මේ වන විටත් එවැනි තීරණයක් හෝ නිල අනතුරු ඇඟවීමක් ICC විසින් නිකුත් කර නොමැති බවද වාර්තා වනවා.