සුරේෂ් සලේ පාස්කු නඩුවේ තුන්වැනි සැකකරු ලෙස නම් කරයි

PranaNews.lk

මේ වන විට රැඳවුම් භාරයේ සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතා පාස්කු ප්‍රහාරය පිළිබඳව කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාගවන නඩුවක තුන්වන සැකකරු ලෙස නම් කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) පියවර ගනු ලැබුවා.

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා පසුගිය පෙබරවාරි 25 වනදා පෑලියගොඩ දී අත්අඩංගුවට ගැනුණා.

ඒ පාස්කු ඉරුදින ප්‍රහාරයට ආධාර අනුබල දීමේ චෝදනා යටතේයි.

පසුව සුරේෂ් සලේ මහතා ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික විදිවිධාන පනත ප්‍රකාරව දින 90ක කාලයක් රැඳවුම් භාරයේ ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යවරයාගෙන් පසුගියදා අවසර ලබා ගනු ලැබුවා.

මේ අතර සලේ නීතිඥයින් ඊයේ (04) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෝසමක් ගොනු කරනු ලැබුවා.

එහිදී සිය සේවාදායකයා ප්‍රමාණවත් සාක්ෂි නොමැතිව අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබා ගැනීමේ නියෝගය ඉහළ අධිකරණය අභියෝගයට ලක් කිරීමට සඳහා මේ සම්බන්ධව නඩුවල සහතික කළ පිටපත් ලබාදෙන ලෙසට සඳහන් කර තිබෙනවා.

තවද සිය සේවාදායකයා හමුවීමට තමන්ට අමතර දිනයක් ලබාදෙන ලෙසත් ඔහුට නිවසින් ආහාර රැගෙන යාමට අවසර ලබාදෙන ලෙසත් නීතිඥයින් ඉල්ලීමක් කර ඇති බව සඳහන්.

මෙහිදී අදාළ නීති කෘත්‍යයන්හි සහතික පිටපතක් නිකුත් කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග නිකුත් කළද අනෙක් ඉල්ලීම් සඳහා නියෝගයක් නිකුත් කිරීම ප්‍රතික්ෂේප කළා.

ඒ ඔහු අත්අඩංගුවට ගෙන රැඳවුම් භාරයේ තබා ගැනීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් අධිකරණයට කරුණු වාර්තා නොක‍ර ඇති බව පවසමින්.

මේ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට සුරේෂ් සලේ මහතා රැඳවුම් භාරයේ තබා ගැනීම සම්බන්ධව කරුණු වාර්තා කළා.

වව්නතිව් හි පොලිස් නිලධාරීන් දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධව වූ විමර්ශන නොමඟ යැවීම සහ සයින්දමර්දු නිවසේ සිදුවූ පිපිරීම් සම්බන්ධයෙන් වන විමර්ශනවලට අදාළව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවතින 35882/24 නඩුවේ තුන්වැනි සැකකරු ලෙස රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා නම් කරන එමඟින් ඔවුන් සඳහන් කර තිබුණා.

මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ ප්‍රශ්න කරමින් සිටින සැකකරු මහේස්ත්‍රාත්වරයාට සුදුසු යැයි හැඟෙන දිනයක එම දෙපාර්තමේන්තුවට පැමිණ නිරීක්ෂණය කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහේස්ත්‍රාත්වරයාගෙන් ඉල්ලා සිටියා.

අදාළ කරුණු දැක්වීම් අධිකරණය හමුවේ ලිඛිතව සටහන් කර තැබීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරයා නුදුරු දිනක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ සැකකරු නිරීක්ෂණය කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දුන්නා.