“ප්‍රජාතන්ත්‍රවාදය වනසන 22 එපා” යන තේමාව යටතේ සමගි ජන බලවේගය මගින් සංවිධානය කරනු ලබන දැවැන්ත උද්ඝෝෂණය සහ විරෝධතාව අද (24) පෙරවරුවේ පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.
බත්තරමුල්ල, පොල්දූව මංසන්දියේදී පෙරවරු 09.00ට මෙම විරෝධතාව ආරම්භ කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.
ආණ්ඩුවේ ඒකාධිපති ගමනකට මුලපුරන 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව මෙම උද්ඝෝෂණය පවත්වන බවත්, ඊට එකතු වන ලෙස සියලුම ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් සමගි ජන බලවේගයේ මහ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර මහතා ප්‍රකාශ කළා.
මේ අතර 'ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීම සඳහා වන නිදහස් සටන් මධ්‍යස්ථානය' අද පැවැත්වෙන මෙම විරෝධතාවයට සහභාගී නොවීමට තීරණය කර තිබෙනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සඳහන් කරන්නේ පවතින මතභේදාත්මක වාතාවරණය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවයි.
විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ, කණ්ඩායම් සහ ප්‍රජාතන්ත්‍රවාදී බලවේග එක් පොදු වේදිකාවකට ගෙන එමින් ජනතාවගේ අයිතීන් සුරැකීම සඳහා පුළුල් මහජන බලයක් ගොඩනැගීම සිය අරමුණ වූ බව පවසන එම මධ්‍යස්ථානය, අපේක්ෂිත ආකාරයෙන් මෙම විරෝධතාව ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් කනගාටුව පළ කරන බව ද වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.