කොලොම්බියාවට බලපෑ භූකම්පනයෙන් මරණ 111ක්

News Image

කොලොම්බියාවේ බටහිර ප්‍රදේශයට බලපෑ ප්‍රබල භූකම්පනයෙන් මියගිය සංඛ්‍යාව 111ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් රිසරාල්ඩා පළාතෙන් වාර්තා වී ඇති බවයි.

මෙම භූකම්පනයෙන් කාලි නගරයටද දැඩි බලපෑම් එල්ල වී ඇති අතර, ක්විබ්ඩෝ ඇතුළු ප්‍රදේශ කිහිපයක ගොඩනැගිලි රැසකට හානි සිදුව තිබෙනවා.

රිච්ටර් මාපකයේ ඒකක 7.4ක ප්‍රබලත්වයකින් යුත් භූකම්පනයේ කේන්ද්‍රය, කොලොම්බියාවේ පැසිෆික් වෙරළ තීරයේ චොකෝ පළාතේ සැන් ජොසේ ඩෙල් පල්මාර් ප්‍රදේශය ආසන්නයේ පිහිටා තිබූ බව එරට භූ විද්‍යා සේවය සඳහන් කරනවා.

භූකම්පනය කිලෝමීටර් 96ක පමණ ගැඹුරක සිදුව ඇති බවද එම සේවය පවසනවා.

මේ වනවිට විපතට පත්වූවන් සොයා සිදුකරන මෙහෙයුම් සඳහා බොගෝටා සහ මෙඩෙලින් නගරවලින් ආපදා සහන කණ්ඩායම් යොමු කර තිබෙනවා.

භූකම්පනයේ බලපෑම හේතුවෙන් පේරෙයිරා, මැනිසාලෙස්, ක්විබ්ඩෝ, ආර්මේනියා, කාර්ටාගෝ සහ බුවනවෙන්තුරා යන ගුවන් තොටුපළවල මෙහෙයුම්ද තාවකාලිකව අත්හිටුවීමට බලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන්.

කොලොම්බියාවේ පළාත් නවයකට සහ පළාත් අගනගර 32කට භූකම්පනයේ බලපෑම දැනී ඇති බව එරට ආපදා කළමනාකරණ ආයතනය පවසනවා.

එමෙන්ම අසල්වැසි වෙනිසියුලාවේ ටචිරා ප්‍රාන්තයට මෙන්ම බැරිනාස් සහ බාර්කිසිමෙටෝ ඇතුළු ප්‍රදේශ කිහිපයකටද භූකම්පනය දැනී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත්, භූකම්පනය හේතුවෙන් සුනාමි අවදානමක් නොමැති බව එක්සත් ජනපද සුනාමි අනතුරු ඇඟවීම් පද්ධතිය තහවුරු කර තිබෙනවා.