වසරේ ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ආසන්නයි

PranaNews.lk

මෙම වසරේ මේ දක්වා වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 70,000ට ආසන්න වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.

එම ඒකකය සඳහන් කළේ, ඊයේ (13) වන විට දිවයිනෙන් ඩෙංගු රෝගීන් 69,951 දෙනෙකු වාර්තා වී ඇති බවයි.

පසුගිය 12 වැනි දින වන විට සමස්ත රෝගීන් සංඛ්‍යාව 68,672ක් ලෙස සටහන්ව තිබූ අතර, ඊයේ දිනයේදී පමණක් නව රෝගීන් 1,279 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා.

වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති අතර, එය 36,795ක් ලෙස දැක්වෙනවා.

බස්නාහිර පළාත තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 14,464ක්. කොළඹ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 14,004 දෙනෙකු වාර්තා වී තිබෙනවා.

මේ අතර, ජූලි මාසයේ ගතවූ දින 13 තුළ පමණක් ඩෙංගු රෝගීන් 14,572 දෙනෙකු වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළා.

එමෙන්ම, මෙම වසරේ වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ ජුනි මාසයේදී වන අතර, එම සංඛ්‍යාව 21,538ක් ලෙස සටහන් වී තිබෙනවා.