ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සමාරම්භක තරඟයේ ජය මෙක්සිකෝවට

PranaNews.lk

2026 ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ සමාරම්භක තරඟයෙන් දකුණු අප්‍රිකාව පරදා සත්කාරක මෙක්සිකෝ කණ්ඩායම ජය වාර්තා කිරීමට සමත්වුණා.

A කාණ්ඩයේ තරඟයක් ලෙස මෙම තරඟය පැවැත්වුණා.

තරඟය පැවැත්වුණේ ලෝක කුසලාන තරඟාවලි 3ක් සඳහා දායකත්වය ලබාදුන් එස්ටාඩිඕ අස්ටෙකා ක්‍රීඩාංගණයේදියි.

එක් කුසලානයක් වෙනුවෙන් රටවල් 48ක් තරඟ වදින මෙවරය ලෝක කුසලානයේ පළමු තරඟයේ දී කණ්ඩායම් දෙකම ආරම්භයේ සිටම තියුණු සටනක් ලබාදුන්නා.

මෙක්සිකෝව වෙනුවෙන් පළමු ගෝලය කිරීමට ජූලියන් කවිනෝන්ස් සමත් වු අතර තරඟයේ පළමු අර්ධය ගෝල 1-0ක් ලෙස අවසන් වුණේ මෙක්සිකෝව පෙරමුණු ගනිමිනි.

දෙවන අර්ධයේ දී ආරම්භයේ සිට තිබූ සටන්කාමි තරඟ විලාශය පවත්වාගෙන ගිය මෙක්සිකෝ ක්‍රීඩකයින් තරඟයේ 67 වන මිනිත්තුවේ දී තවත් ගෝලයක් රැස් කිරීමට සමත් වුණා.

මෙක්සිකෝව වෙනුවෙන් එම ගෝලය ලබාගත්තේ රාවුල් ජිමිනෙස්ය.

මේ අනුව නියමිත කාලය අවසානයේ දකුණු අප්‍රිකාවට එරෙහිව ගෝල 2-0ක ජයක් හිමි කරගනිමින් මෙක්සිකෝව මෙවර ලෝක කුසලානයේ පළමු ජය වාර්තා කළා.

ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ අද (12) කැනඩාවේ දී සමාරම්භක උත්සවයක් පැවැත්වීමට නියමිත අතර ඇමෙරිකාවේ දී පැවැත්වෙන සමාරම්භක උත්සවය අද (12) පස්වරුවේ ලොස් ඇන්ජලිස් හිදී පැවැත්වීමට නියමිතව තිබෙනවා.