ඉරාන නෞකා සහ අමෙරිකානු සම්බාධක ගැන විදේශ අමාත්‍යාංශයෙන් නිවේදනයක්

PranaNews.lk

ශ්‍රී ලංකා මුහුදු තීරයට ආසන්න ජාත්‍යන්තර මුහුදේ අතරමං වී ඇති ඉරාන නෞකාවලට සේවා සැපයුවහොත් ශ්‍රී ලංකාවට සම්බාධක පනවන බවට ඇමෙරිකාව විසින් අනතුරු අඟවා ඇති බවට පැතිර යන පුවත් සම්බන්ධයෙන් විදේශ අමාත්‍යාංශය විශේෂ පැහැදිලි කිරීමක් සිදුකර තිබෙනවා.

විදේශ අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර රොඩ්රිගෝ මහතා නිවේදනය කරන්නේ, මෙම ඇමෙරිකානු ද්විතීයික සම්බාධක (Secondary Sanctions) යනු කිසියම් විශේෂිත රටක් හෝ ශ්‍රී ලංකාව පමණක් ඉලක්ක කර පනවන ලද්දක් නොවන බවයි.

එය මුළු ලොව පුරාම එකලෙස ක්‍රියාත්මක වන ඔවුන්ගේ සාමාන්‍ය ගෝලීය ප්‍රතිපත්තියක් බව උන්වහන්සේ පෙන්වා දෙනවා.

පසුගිය අගෝස්තු 24 වනදා ඇමෙරිකාව විසින් ප්‍රකාශයට පත්කරන ලද මෙම ද්විතීයික සම්බාධක මගින්, ඇමෙරිකානු සම්බාධකවලට ලක්වූ නෞකාවලට යම් තැනැත්තෙකු හෝ ආයතනයක් සේවා සහ සැපයුම් ලබාදුනහොත්, ඔවුන්ට ඇමෙරිකානු මූල්‍ය පද්ධතියට (US financial system) ප්‍රවේශ වීමේ හැකියාව අහිමිවීමේ අවදානමක් පවතින බව දක්වා තිබෙනවා.

නාවික සහ වෙළඳ නාවික ක්ෂේත්‍රයේ නියැලී සිටින ආයතන සහ පුද්ගලයින් මෙම ගෝලීය නීතිමය තත්ත්වය පිළිබඳව මනාව දැනුවත්ව සිටින බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එමෙන්ම පවතින අර්බුදකාරී වාතාවරණය හමුවේ මෙවැනි නෞකා ඉන්දියන් සාගරයේ පමණක් නොව ලොව පුරා වෙනත් සාගර කලාපවල ද මෙලෙස රැඳී සිටින බව විදේශ අමාත්‍යාංශය අවධාරණය කරනවා.

මෙම සිදුවීමේ ඇති සංවේදීතාව සැලකිල්ලට ගනිමින්, නිවැරදි කරුණු සහ තොරතුරු පමණක් ජනතාව වෙත වාර්තා කරන ලෙසයි විදේශ අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශක අධ්‍යක්ෂ ජෙනරාල් තුෂාර රොඩ්රිගෝ මහතා මාධ්‍ය වෙත දැඩි ලෙස ඉල්ලා සිටින්නේ.